නත්තල උදාවී ඇත. තවක් වරක් අපි බිළිදු ජේසු උපත උත්සවශ‍්‍රීයෙන් සැමරුවෙමු. ප‍්‍රීති සන්තෝෂ වුණෙමු. නත්තල ජයට සමරන්නට ලැබුණු අය සතුටින් සිටිනවා විය හැක. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ නත්තල ජය වුණේ කොහොමද? නැතහොත් එසේ නොවුණේ කොහොමද? අපි අවුරුදු දෙදහකට විතර කලින් බෙත්ලෙහෙමේ සිදුවූ සිද්ධියක් සැමරුවාද? නැත්නම් ඇත්තටම ජේසු අපි අතර ඉපදුණාද?
නත්තල නැවත නැවතත් සිදුවන්නකි, සිදුවිය යුත්තකි. පාප වහල්බවින් අපව මුදාගන්නට ගැළවුම්කරුවෙක් උපත ලැබීමේ ප‍්‍රීතියෙන් පිරී යන අපේ සිත් තුළ නැවත වරක් ජේසු නොඉපදේ නම් උන්වහන්සේගේ දෙවන පැමිණීමට සූදානම්ව සිටීමට අපට නොහැක. කෙදිනක හෝ සිදුවන අවසාන විනිශ්චයට සහ ඊට පෙර අපි එකිනෙකා තනි තනිවම මරණ මොහොතේ දී මුහුණ දෙන විනිශ්චයට අපි සූදානම් ද?
පව් නොකරන කිසිවෙක් මෙලොව සිටී ද? අප සැමගේ සිත් පාප අඳුරින් පිරී ඇත. මිනී නොමරන නිසා, මංකොල්ල නොකන නිසා, කුඩු ගහන්නෙ නැති නිසා, හිරේ විලංගුවෙ වැටිලා නැති නිසා අපි අනෙක් අයට වඩා ශුද්ධවන්ත වෙමුද? අපි ඇත්තටම හොඳ අයද? යන්තමින්වත් ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලක් ඇති නොවන, අබමල් රේණුවක තරම්වත් තරහක් හිතේ් නැති, දන්න හඳුනන අයව සිතින් විනිශ්චය නොකරන,  ඕපා දූප නොකියන, අනුන් කපා කැපී පෙනෙන්නට උත්සහ නොකරන, ලෝකයා ඉදිරියේ හොඳ නම ගන්නට උත්සහ නොකරන, සත පහකවත් දෙයක් වංචා නොකරන, රැකියාවේ හෝ නිවසේ වැඩ සහ යුතුකම් අකුරටම ඉටු කරන, අනිත් කෙනාග් ලොකුකම ගැන  ඕනෑවටත් වඩා ලොකුවට නොසිතන කිසිවෙක් සිටී ද? මේ වගේ අන්ධකාරයෙන් පිරුණු අපේ සිත් තුළට නත්තලෙන් ආලෝකය ලැබිය යුතුය. බෙත්ලෙහෙමේ සිදුවූ ක‍්‍රිස්තෝත්පත්තිය මැදියම් රැයේ ඝනඳුර මැද සිදුවීමෙන් සංකේතවත් වන්නේ එයයි.
ජේසු අප තුළ උපදින විට අපේ ස්වභාවය සම්පූර්ණයෙන් ම වෙනස් වෙයි. අපව අලුත් මැවිල්ලක් බවට පත්වෙයි. ලැබීමට වඩා දීම තුළ සැබෑ සතුටක් ඇත. අයිතිකර ගැනීමට වඩා බෙදාගැනීම තුළ ගැඹුරු ශාන්තියක් ඇත. අලුත් ඇඳුමකින්, රසවත් කෑමකින්, රැකියාවේ උසස්වීමකින්, අලූත් නිවසක් හෝ වාහනයකින් ලැබිය නොහැකි ඇතුළාන්ත සාමයක් සහ සතුටක් සමාව දීම තුළ, ලෞකික ආශාවන්ගෙන් මිදීම තුළ, බැහැපත් වීම තුළ ලබාගත හැක. ආපසු යමක් බලාපොරොත්තු නොවී දක්වන ආදරය තුළ උත්තරීතර සතුටක් ගැබ්ව ඇත. අපි මේ සියල්ල දන්නෙමු. එහෙත් එය අවබෝධ කරගත හැකි වනු ඇත්තේ ජේසු අප තුළ ජීවත් වන්නට පටන්ගත් විටය.
ඔබ මෙය කියවන්නේ නත්තල් දිනයේ හෝ ඊට පසු විය හැක. මෙදා නත්තලේ දී ඔබ කී දෙනෙකුගේ කුස ගිනි නිව්වාද? දිළිදුන් වෙනුවෙන් කොපමණ කැප කළාද? ඔබේ පරිත්‍යාගශීලිත්වය මනිනුයේ ඔබ දෙන ප‍්‍රමාණය අනුව නොව ඔබ නොදී රඳවා තබාගන්නා ප‍්‍රමාණය අනුවය. දාන ධර්ම දෙන විට ඔබට වැඩිපුර ඇති දෙයින් සොච්චමක් නොව ඇඟට දැනෙන පමණට දෙන්න. (වැන්දඹුවගේ පඬුර පිළිබද සිද්ධිය මතක් කරගන්න, ශු. ලූක් 21:1-4) සමාව දෙන්නට අමාරු, නත්තලට සුභ පතන්නටවත් නොහිතුණු කී දෙනෙක් ඔබේ ජීවිතයේ ඉන්නවාද? මිතුරන් අතර කැපී පෙනෙන්න, තාවකාලික සතුටක් ලබන්නට ඇති ආශාව නිසා අනවශ්‍ය ලෙස කෑම බීම හා ඇඳුම් වලට කොයිතරම් වියදම් කළාද? ඇත්තටම ජේසුට ඔබ තුළ ඉපදෙන්නට ඔබ තුළ තිබූ සූදානම කොයි වගේ ද? හොඳ පාපොච්චාරණයක් කරගත්තාද? නැත්නම් එම සක‍්‍රමේන්තුවෙන් ලැබෙන වරප‍්‍රසාදවල වටිනාකම නොතකා හැරියාද?
පාපය තුළ අපි ජේසුගේ ආදරයට අපහාස කරන්නෙමු. නත්තලේ අර්ථය විනාශ කර දමන්නෙමු. අපි තුළට පැමිණෙන්නට ඉතා ආශාවෙන් සිටින ජේසුව ප්‍රතික්ෂේප කර අපේ ම විනාශය කරා ගමන් කරන්නෙමු. මෙදා නත්තලේ දී ඔබට ජේසුව හොයාගන්න බැරිවුණා නම් තවමත් ප‍්‍රමාද වැඩි නැත. අද සිට ඊළඟ නත්තල දක්වා ගමනට සූදානම් වෙමු. අප තුළ ඇති පාපතර වහල් බැමි එකින් එක කඩා දමමු. ශුද්ධවන්තභාවය එක දිනකින් දෙකකින් ළඟා කරගත හැක්කක් නොවේ. එය දිගු ගමනකි. දවසේ සෑම වැඩ කටයුත්තක දී ම අපි එම ගමන තුළ ම සිටිය යුත්තෙමු. සෑම ක‍්‍රියාවක දී ම, සෑම තීරණයක දී ම ඒවා දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟදැයි සිතා බලන්නේ නම් ගමන අපහසු නොවනු ඇත. අපේ ශක්තියෙන් නිවැරැදි කරගත නොහැකි පාප බැමි ජේසුට ඔප්පු කරමු. අත්හැරගත නොහැකි වැරදි පුරුදු (දුම්පානය, බීමත්කම, කාම රාග ආශාවන්, අලසකම, කෑදරකම වැනි), නිමාකරගත නොහැකි වෛරය, මිදෙන්නට බැරි අනියම් සම්බන්ධතා ආදී සියල්ලක් ම ජේසුගේ පාමුල තබමු. අපි අවංකව, බැහැපත්ව, තැවුණු සිතින් ජේසු වෙතට එන්නෙමු නම්, උන්වහන්සේව සොයන්නෙමු නම් උන්වහන්සේ මේ සෑම වහල්බවකින් ම හා පාපිෂ්ඨබවකින් ම අපව නිදහස් කරන සේක. මන්ද අපට සිටින්නේ ‘අන්න මාර්ගය පුළුවන් නම් යමල්ලා’යි කියන මඟ පෙන්වන්නෙකු නොව, ‘මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි’යි පවසන දිව්‍ය ගැළවුම්කරුවාණන් කෙනෙක් ය. පාපයෙන් අපව ගැළවීමට උන්වහන්සේට හැකිය. එතුමන්ගේ උපත අපට මෙතරම් ප‍්‍රීතිදායක, සැනසිලිදායක වන්නේ ඒ නිසාය. එතුමන් තුළ අපට බලාපොරොත්තුවක් ඇත. මිදීමක් ඇත.
  ලැබුවාවූ 2010 නත්තල ඔබ තුළ ජේසුව අත්දකින්නට ලැබෙන ශ‍්‍රී සුභ නත්තලක් ම වේවා!